Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

"මනා අධ්‍යයනයකින් සහ විශිෂ්ඨ භාෂා ඥාණයකින් යුතුව සාහිත්‍යයකරණයේ යෙදෙන සේපාලී මායාදුන්නේ වැනි රචකයන් සිංහල නවකතාකරණයේ යෙදී සිටීම පාඨකයන්ගේ ⁣⁣පැත්තෙන් බලන කල ඉතාමත් වාසනාවකි."

මාල කවි යනු ශෘංගාරය ආශ්‍රය කරගෙන පට බැඳි කාව්‍යය වර්ගයකි. පුද්ගල කාම ශක්තිය වර්ණනා කිරීම පිණිස රචනා වූ මේ මාල කාව්‍යයන් උදෙසා රජවරුන්ගේ පමණක් නොව ඇහැලේපොළ, මොනරවිල, පිළිමතලව්වේ වැනි නිළමක්කාරයින්ගේද කාම ශක්ති වර්ණනාවන් පාදක කරගත් බව කියැවේ. සේපාලී මායාදුන්නේ හින් දොස් මාලේ හඳුන්වා දෙන්නේ මාල කාව්‍යයක් වුවද එයින් කියවෙන්නේ වන්නි හත්පත්තුවේ වනාන්රවලට අධිගෘහිත වූ හින් යකුන් විසින් සිඳ බිඳ දැමූ වන්නි හත්පත්තුවේ සාමාන්‍යය ජනතාව මුහුණ පෑ ව්‍යාසනයේ මාල කථාව ලෙසය.

මෙහිදී වන්නි හත්පත්තුවේ සාමාන්‍යය ජනතාව ලෙස හඳුන්වාදෙන්නේ එක් ජාතියකට ඇදහිල්ලකට අයත් නොවූ සම්මිශ්‍රව දිවි ගෙවු සංකීර්ණ ඉතිහාසයක අක්මුල් සහිත වූ සරල දිවියකට හිමිකම් කිවූ ප්‍රජාවකි. ඔවුන්ගේ සරල දිවිය තුල ඔවුන් පෙළා දමන ප්‍රධානම පාර්ශවය වූයේ ඔවුන් දිවි ගෙවූ භූමියේ පරවේණී හිමිකම් කී අධිකාරී බලය සහිත වංශවතුන්ය. ලේඛිකාව ගොඩනගන වන්නි හත්පත්තුවේ ජනයාට ඇති ගැටලු දහසක් අතරින් ඔවුන්ට මග හැර යානොහැකි එකම ගැටලුව වංශවතුන් වෙනුවෙන් ඔවුන් පිළිගැන්විය යුතු අඳවාරන්නයයි. ඔවුන් අතර ජාති බේදයක් හෝ ඇදහිලි සම්බන්ධ මත ගැටුම් නොමැත. වෙළදාමේ පැමිණ බැසගත් මරක්කලයාත්, ජම්බුද්දීපයෙන් ගොට බඩ කල්ලතෝනිත්, නිලමෙක්කාරයන්ට බයෙන් උඩරටින් පල්ලම් බැසගත් හිංගලයාත් එකම පුල්ලෙයාර් දෙවියෙකුගේ රැකවරණය යටත්ව වන්නි හත්පත්තුවේ දිවි ගෙවයි. සදාකල් නිලෙමක්කාරයින්ගේ පයට පෑගී දිවි ගෙවන්නට සිදුවූ එවන් මිනිසුන් පිරිසකගේ ජීවන අරගලය පිළිබඳ කතාව සේපාලී මායාදුන්නේ අති විශිෂ්ඨ ලෙස හින් දොස් මාලේ තුල වියමන් කර ඇත.

ශ්‍රී විජය රාජසිංහ රජ සමයේ වන්නි හත්පත්තු⁣ව බාරව කටයුතු කල බද්ද රාළ නම් නිළමක්කාරයකුගේ කාමාග්නිය හේතුවෙන් ඔහුගේ යටත් වැව්ගම්මානයක අසරණ ජනයාට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් පාදක කරගෙන මෙම කෘති⁣යේ මූලික ආකෘතිය ගොඩ නැගී ඇත. කෘතියේ සෑම පරිච්ඡේදයකම දකින්න ලැබෙන්නේ වන්නියේ ජනයා පෙළා දමන මහ රජුගේ සිට පහලටම ගලා එන අධිකාරි බලයයි.

වන්නි ජනයාගේ ඇදහිලි සහ ජීවන රටාව ගැන කෘතිය පුරා ඇති සවිස්තරාත්මක දීර්ඝ පැහැදිලිකිරීම් ලේඛිකාවගේ මනා පරිචය විදහා දක්වයි. කෘතිය අවසානයේ වැව්ගම්මානයන්හි සමගිව දිවි ගෙවූ ජනතාවගේ සිට වර්තමාන ලාංකික සමාජයේ ඇතිවී තිබෙන බෙදුම් වාදය දක්වා ඇතිවූ ගොඩනැගීම සම්බන්ධ ඉඟියක්ද දකින්නට ලැබෙනවා.

වන්නි හත්පත්තුව පාදක කරගෙන ⁣⁣මෙම ලේඛිකාව විසින්ම රචනා කරන ලද "අත්තාණි කණු" කෘතියයේ දැක්වූණු වන්නි⁣යේ ජීවන තොරතුරු වලට වඩා එහා ගිය සවිස්තරාත්මක පැහැදිලිකිරීම් මෙහි අන්තර්ගතවී තිබෙනවා. සේපාලී මායාදුන්නේ ලේඛිකාව විසින් රචිත මාගේ ප්‍රියතම කෘතිය වූ "මහාසාමී" තරම්ම සිත් ඇදගන්නා දේශපාලනික කතාන්දරයක් මෙහි යටිපෙළින් නිර්මාණය කර තිබෙනවා.

මනා අධ්‍යයනයකින් සහ විශිෂ්ඨ භාෂා ඥාණයකින් යුතුව සාහිත්‍යයකරණයේ යෙදෙන සේපාලී මායාදුන්නේ වැනි රචකයන් සිංහල නවකතාකරණයේ යෙදී සිටීම පාඨකයන්ගේ ⁣⁣පැත්තෙන් බලන කල ඉතාමත් වාසනාවකි.

 

- Sha Danthanarayana