අනුරාධපුර, නුවරවැව ආසන්නයේ මිහින්තලා පාරට ආසන්න ගම්මානයක උපත ලද සේපාලී මායාදුන්නේ නම් දැරිය, එවකට අනුරාධපුර ප්‍රාථමික පාසැල නමින් හැදින්වුණු, පසුකාලීනව වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයෙන් පස්වන ශ්‍රේණිය සමත් වී ද්වීතියික අධ්‍යාපනය සඳහා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වන්නීය. උසස් පෙළ අධ්‍යාපනය හමාර කර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වන ඕ, එහිදී සිය #ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කර පසුව, කැලණිය විශ්ව විද්‍යාලයෙන් #දර්ශනපති සහ #දර්ශන_විශාරද උපාධි දිනාගන්නී, අධ්‍යාපන කටයුතු හමාර කළ පසු අර්ධ රාජ්‍ය ආයතනයක නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක් වශයෙන් සේවය කළාය. ජ්‍යේෂ්ඨ ලේඛිකා සේපාලී මායාදුන්නේ හට ඇයගේ අග්‍රගණ්‍ය සාහිත්‍ය කෘති වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙකක්, ස්වාධීන සාහිත්‍ය සම්මාන, විද්‍යොදය සම්මාන, ෆෙයාර්වේ සම්මාන, බෞද්ධ සාහිත්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක නිර්දේශ ආදී ඇගයීම් රාශියක් හිමිව තිබේ. එපමණක්ද නොව නුවර කලාවියේ ප්‍රාදේශීය උපභාෂාව යොදාගනිමින් ඇය විසින් රචනා කෙරන ලද 'දෙබෙදුම', 'හත් අඩියට වින කළ යකු' ආදී පර්‍යේෂණ කෘති විශ්ව විද්‍යාලවල පවා පරීශීලනයට යොදා ගැනේ. කන්ද උඩරට රාජ්‍යය බිඳ වැටෙන්නට ආසන්න නරේන්‍ද්‍රසිංහ රජු කල උපසම්පදාව අහිමි භික්‍ෂූන් හෙවත් ගිහි ජීවිතයට ආසන්න ජීවිත ගත කළ ගණින්නාන්සේලා වටා ගෙතුණාවූත්, ප්‍රවීණ සේපාලී මායාදුන්නේ මහත්මිය විසින් රචනා කෙරෙන ලද්දාවූත් '#මහාසාමි' කෘතිය පසුගිය වසර ගණන තුළ බිහි වූ විශිෂ්ටතම කෘතිය යයි ඇතැම් විචාරකයන් සඳහන් කරයි. සිය නවතම කෘතිය මියුසස් ප්‍රකාශන සමාගම හරහා එළි දක්වන ඇය, 'හින්දොස් මාලේ' හි පූර්වකථනය වශයෙන් මෙසේ සඳහන් කරයි. "එකල අනුරාධපුරය විශාල වියළි වනාන්තරයෙන් වැසුණු ප්‍රදේශයක්. පුත්තලම් පාරත්, යාපනය පාරත්, මිහින්තලා පාරත් ඒ දැවැන්ත වන ගහණයෙන් මුවාවී තිබුණා. මගේ පියාත් අනුරාධපුරයේ නමක් දිනාගත් පුද්ගලයෙක්. මා උපන් නිවස තිබුණු මාර්ගය මගේ උප්පැන්න සහතිකයේ සඳහන් වෙන්නේ 'මැක් බ්‍රිජ් රෝඩ්' යනුවෙනුයි. ඒ පෙරකල ඉංග්‍රිසි
පාලනය සිහිගන්වමින්. පසු කලෙක එය සාලිය මාවත නමින් වෙනස් වී අනුරාධපුර මහ නගර සභාවේ පාලන සීමවට අයත් වුණා. අනුරාධපුරයට පිටස්තරයන් ළඟාවුණේ වෙනත් ප්‍රදේශවල ඉඩකඩම්; තදබදයට හා රැකියා ඌණතාවට ලක්වුණු විටයි. ඔවුන් සැරිසරන්නට ගත්තේ ඉතාමත් පසුකාලයකයි. අනුරාධපුරයේ මැදවච්චිය - මන්නාරම් පාර දක්වාත්, මිහින්තලා පාර හා අවට ප්‍රදේශවලත්, පුරාණ වැව්ගම් වාසීනුත් අප බොහෝ හොඳින් හඳුනාගෙන සිටියා. ඒ ගම්මානවලට යා හැකි වුණේ වැලි මං ඔස්සේ පමණයි. ඒවා සැතපුම් ගණනක් දිගු වුණා. ඔවුන්ගේ විවාහ, උප්පැන්න සහ මරණ ලියාපදිංචි කරන්නට අපේ අම්මා සමඟ ඒ ගම්මානවලට ගියවිට පැරණි ගම්මානවල ඇදහීම්, චාරිත්‍ර, වාරිත්‍ර මෙන්ම මහා වංශයේ යන්තමට කියැවෙන ඇතැම් ඉතිහාස කථා ප්‍රවෘත්තිත් මා සතු කරගන්නට හැකිවුණා. මේවා සැමදාම මගේ සිතේ ඇඳී, නොමැකී පැවතුණා. දැන්, මා ඒ දුටු අනුරාධපුරය, එහි ප්‍රාදේශීය උපභාෂාව මෙන්ම එහි ඇදහීම් විශ්වාස ආදී සියල්ලම මැකී ගොස් අවසානයි. පුරාණ වැව් ගම්මාන සියල්ලකටම පාහේ සිදුවුණෙත් මේ නාගරීකරණයමයි. ඔවුන් නම්, වග වාසගම් වෙනස් කරගත්තා. ඒව බොහෝ විට දිවයිනේ පහතරට ප්‍රදේශවලට අයත් ඒවායි. පළාතක් පැතිරුණු වනාන්තර එකිනෙකට තදබද වුණු නිවාස පෙළක් බවට පරිවර්තනය වී හමාරයි."