Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

""කාල චක්‍රය පෙරළෙයි. පුරාවෘත බවට පත්වන ස්මරණයන් ඉතිරි කරමින්, යුගයන් ඇති වී නැති වී යයි. කාලයාගේ ඇවෑමෙන් එකී පුරාවෘත, මිථ්‍යා වෘතාන්ත බවට වියැකී යයි. අවසන, මෙකී මිථ්‍යාවන්ට උත්පත්තිය දුන් යුගය නැවත එළඹෙන සමයේ, මේ පුරාණෝක්තීන්ද ස්මෘතියෙන් ඈත් වී ගොස් හමාරය.""

ලොව පතළ ෆැන්ටසි ශානරයේ වීර කාව්‍යන් වූ The Lord of the Rings, Game of Thrones, The Witcher වැනි කතා මාලාවන් අතර වූ තවත් විශිෂ්ට ෆැන්ටසි ශානරයේ වීර කාව්‍ය නිර්මාණයක් ලෙසින් 1984 දී රොබට් ජෝර්ඩන් විසින් රචනා කිරීම ආරම්භ කරන ලද The Wheel of Time කතාමාලාව හඳුන්වා දිය හැකිය.
 
මෙය ලොව පුරා පාඨකයින් අතර කොතරම් නම් ජනාදරයට පාත්‍ර වුවා ද යත් ඊට මනා සාක්ෂියක් වනුයේ 2021 වසරේ පමණක් මෙහි පිටපත් මිලියන 90 ක් පමණ ලොව පුරා අලෙවිව epic fantasy ශානාරයේ best-selling කෘති අතර වැජඹෙමින් පැවතීමයි. විසිවන සියවසේ බිහිවූ හොඳම ෆැන්ටසි කතාමාලාව ලෙස සැලකෙන The Lord of the Rings කතාමාලාවේ  එදා සිට අද දක්වා අලෙවිව ඇත්තේ පිටපත් මිලියන 150 කට අධික ප්‍රමාණයකි.
 
මෙම කතා මාලාවේ පළමු කෘතිය 1984 දී රචනා කෙරුණු නමුත් මුද්‍රණාද්වාරයෙන්  නිකුත්වුයේ 1990 ජනවාරී මාසයේ දී ය. ජෝර්ඩන් විසින් මෙය වෙළුම් 6 කින් යුතු කතා මාලාවක් ලෙස සැලසුම් කරන ලද නමුත් ඔබෙත් මගෙත් වාසනාවට, අවසානයේ දී එය වෙළුම් 14කින් යුතු කතා මාලාවක් බවට පරිවර්තනය විය. එසේම, මෙම කතා මාලාවට පාදක වන සිදුවීම්වලට වසර විස්සකට පෙර සිදුවූ සිදුවීම් අඩංගු prequel කෘතියක්ද මෙයට අයත්‍ ය. පළමු වෙළුම් 11 සහ prequel කෘතිය රචනා කිරීම ජෝර්ඩන් විසින් සිදුකරන ලද නමුත් අවසන් කෘතිය රචනා කර අවසන් කිරීමට ඔහුට හැකි නොවුණි. ඊට හේතුවූවේ ඔහු පෙළෙමින් සිටි රෝගා-බාධය නිසා ඔහුට දිවියෙන් සමුගැනීමට සිදුවීමයි. කෙසේවුවත් ඒ මොහොත උදාවන විටත් ඔහු  ඊළඟ කොටස රචනා කිරීම ආරම්භ කර තිබුණි. හදිසියේ හෝ මෙම පොත අවසන් කිරීමට තමන්ට වාසනාව උදා නොවුවහොත් යන සැකය මත, ඔහු පොතේ සිදුවීම් සහ අවසානය ගැන සටහන් මතු ප්‍රයෝජනය පිණිස ලියා තැබුවේ ය.  ඒ අනුව ෆැන්ටසි කතා රචක බ්‍රැන්ඩන් සැන්ඩර්සන් අවසාන කොටස ලියා නිම කරන නමුත්  මේ පොතේ විශාලත්වය නිසා කොටස් තුනකට මුද්‍රණය කිරීම සිදුවුණි. එලෙස, කෘති 12ක් සහ prequel කෘතියක් වන්නට තිබූ කතා මාලාව කෘති 14ක් සහ prequel කෘතියක් බවට විය.
 
 
මෙම කතාමාලාව ඉතා විශේෂ වීමට හේතු කිහිපයක් දැකිය හැකිය.
 
ජෝර්ඩන් යනු භෞතික විද්‍යාව පිළිබඳව උපාධිදාරියෙකි. ඔහු ඇමරිකානු නාවික හමුදාවේ න්‍යෂ්ටික ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කළ අතර ඔහු සතු මෙම විද්‍යාත්මක දැනුම යොදාගනිමින් සහ විද්‍යාත්මක නියමයන්ගේ අභාසය ලබමින් මෙම කතාමාලාවේ එන “ඉන්ද්‍රජාලික පද්ධතිය” හෙවත් “අසහාය බලය (One Power)” යන සංකල්පය ගොඩ නගනු ලැබුණි.
 
එසේම, ඔහු විසින් මෙය ලියනු ලැබුවේ පුරුෂයින් පමණක් එක්වී නපුරට එරෙහිව යුධ වදින කතා මාලාවක් ලෙස නොව, පුරුෂයන් සහ කාන්තාවන් එකාවන්ව එක්වී ලොව බේරා ගැනීමට යුධ වදින කතා මාලාවක් ලෙසය. එසේම මෙහි වීරයන් සහ වීරවරියන් පරිපූර්ණ චරිත ලක්ෂණවලින් හෙබි අය නොව, දුර්වලතා සහ අසම්පූර්ණතා සහිත සැබෑ චරිත වේ. එම නිසා, බොහෝ ෆැන්‍ටසි කතන්දර හා සසඳන කළ The Wheel of Time කතා මාලාව යනු නූතන ලෝකයට ගැලපෙන ඉදිරිගාමී කතා මාලාවකි.
 
තවද, ජෝර්ඩන් යුරෝපයේ සහ ආසියාවේ පුරාණ කතාවල මූලිකාංග වලින් ලැබූ පෝෂණය මෙම කතාමාලාව පුරා වපුරවා හරියි. විශේෂයෙන්ම මෙම කතා මාලාවේ සාකච්ඡාවන “යුග (Ages)” පිළිබඳ අදහස සඳහා ඔහුට උත්ප්‍රේරණය සපයනුයේ බෞද්ධ දර්ශනයේ සහ හින්දු දර්ශනයේ එන “යුග” (සත්‍යය යුගය , ත්‍රේතා යුගය , ද්වාපර යුගය ,  කලි යුගය)  පිළිබඳ  වූ සංකල්පය යි. ඊට අමතරව ටාසවාදය, ඒබ්‍රහමික් ආගම් (ප්‍රධාන ලෙස udaism, Christianity, Islam, Baháʼí Faith, Samaritanism, Druze Faith වැනි) වල සංකල්පයන් ගෙන්ද, ලියෝ තෝල්ස්තෝයිගේ යුද්ධය සහ සාමය කෘතියෙන් අඩ වශයෙන් ද අභාසය ලබා ඇත.
 
මෙම කතා මාලාවේ කැපී පෙනෙනම ලක්ෂණය වනුයේ මෙහි විශාලත්වය, මනඃකල්පිත ලෝකයේ සහ ඉන්ද්‍රජාලික පද්ධතියේ ඇති විස්තරාත්මක බව සහ මෙහි එන චරිත ප්‍රමාණය යි.
 
සම්පුර්ණ කතාමාලාවේ වචන හතලිස් නම ලක්ශ තිස් හයක් (4,900,036) අඩංගු වන අතර, කතා මාලාව අවසාන වන විට, මුළු චරිත (දළ වශයෙන්) ලක්ෂයක්ද (1,00,000), ප්‍රධාන චරිත 2782 ඔබට මුණ ගැසී තිබෙනු ඇත.
 
මෙම කතා මාලාවට පාදක වන ලෝකය කුමක්දැයි නම් කර නොමැති වුවද  මෙම කතා  මාලාව වැළඳගත් පාඨක පිරිස  “The World of the Wheel” යනුවෙන් මෙම ලෝකය හැඳින්වීමට  පුරුදුව සිටිති.
 
මැවුම්කරුවා (Creator) ලෙස හඳුන්වන දේවදුතයා විශ්වය (Universe) සහ කාල චක්‍රය (Wheel of Time) නිර්මාණය කර ඇති අතර කාල චක්‍රයේ ගරාදි හතෙන් යුග හත නිරුපණය කෙරේ. තථ්‍ය ප්‍රභවයෙන් (True Source) පැන නගින අසහාය බලය විසින් චක්‍රය පාලනය කෙරෙන අතර මෙම බලය, සයිඩීනය (Saidin) සහ සයිඩාරය (Saidar) ලෙස කොටස් දෙකකට බෙදී වෙන්වී ඇත. සයිඩීනය අසහාය බලයේ පුරුෂ අර්ධය වන අතර එය භාවිත කිරීමට හැක්කේ පුරුෂයින්ට පමණි. අසහාය බලයේ ස්ත්‍රී අර්ධය වන සයිඩාරය, කාන්තාවන් අතින් පමණක් භාවිත වේ. අසහාය බලය භාවිත කොට සිදු කළ හැකි බලවත්ම විශ්වකර්ම ක්‍රියා සිදු කළ හැක්කේ සයිඩාරය සහ සයිඩීනය එක් වීමෙනි. මෙම අසහාය බලය භාවිතා කිරීම නාලිකාගත කිරීම (Channeling) ලෙස හැඳින්වේ. එය නාලිකාගත කරන්නන් පොදුවේ අයිස් සෙඩයි  (Aes Sedai) නම් වේ. 
 
කෙසේ වුවද, ලෝ-ඛණ්ඩනය (the Breaking of the World) නම් සිදුවීම සහ ඒ හා බැඳුණු තවත් සිදුවීම් ගණනාවකට පසුව, සයිඩීනය දූෂ්‍ය වන අතර එය භාවිත කළ නොහැකි තත්වයට පත් වේ. සයිඩාරය පමණක් නිකැළැල් තත්වයේ පවතී. ඒ අනුව, අසහාය බලය භාවිතා කිරීමේ හැකියාව අයිස් සෙඩයිවරියන්ට පමණක් ඉතුරු වන අතර  ඔවුහු අජා (Ajah) නම් අයිස් සෙඩයි සමාජ 07 කට බෙදී සිටිති. මෙම අජාවරියන්  Blue (නීල), Green (හරිත), Yellow (පීත), Red (රක්ත), White (ධවල), Gray (ධූසර) සහ Brown (ගුරු) යන වර්ණයන්ගෙන් යුක්ත වේ. මීට අමතරව, ලෝකය මත අඳුර ඇති කරන අන්ධකාර ඇත්තාට (the Dark One) සේවය කරන Black (කාළ) අජාවරියන්ද සිටිතැයි යම් යම් සැක සංකා තිබුණද, එය අයිස් සෙඩයි ප්‍රජාව විසින් තදබල ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබේ. මේ අජා කණ්ඩායම් 7ට නායකත්වය දෙන නායිකාවෝ සත් දෙනෙක් සිටින අතර ඔවුහු එකකින් එකකට වෙනස් වූ අරමුණු වලින් යුක්ත වේ. ඔවුන්ගේ මෙම අරමුණු අපි මියුසස් පිටුව ඔස්සේ මෙයට පෙර පලකරන ලදී. එසේම, මෙම සියලු අජාවලට නායකත්වය දෙන ප්‍රධාන නායිකාව අමිර්ලින් අසුන (Amyrlin Seat) ලෙස හඳුන්වන අතර ඇය කිසිදු අජා සමාජයකට අයත් නොවන නිර්පාක්ෂිකාවකි.
 
මෙම The Wheel of Time කතා මාලව මෙම නොවැම්බර් මාසයේ ටෙලි කතා මාලාවක් ලෙස ඔබ වෙත ගෙන ඒම සඳහා Sony Pictures Television සහ Amazon Studios සුදානම්ව පසුවේ. මෙම ටෙලි කතා මාලාව Game of Thrones ටෙලි කතා මාලාව පරදවා යනු ඇතැයි විචාරකයන් අනාවැකි පලකරන අතරවාරයේ, මියුසස් ප්‍රකාශන සමාගම මෙම කතාමාලාවේ සිංහල පරිවර්තන පෙළ සිංහල බස කියවන පාඨක ඔබ වෙත ගෙන එන්න සුදානමින් පසුවේ.  ඒ අනුව මෙහි පළමු කෘතියේ අසංක්ෂිප්ත, සම්පූර්ණ සිංහල පරිවර්තනය මෙම නොවැම්බර් මස ඔබ අතට පත්වීමට නියමිතව ඇත.
 
"කාල චක්‍රය පෙරළෙයි. පුරාවෘත බවට පත්වන ස්මරණයන් ඉතිරි කරමින්, යුගයන් ඇති වී නැති වී යයි. කාලයාගේ ඇවෑමෙන් එකී පුරාවෘත, මිථ්‍යා වෘතාන්ත බවට වියැකී යයි. අවසන, මෙකී මිථ්‍යාවන්ට උත්පත්තිය දුන් යුගය නැවත එළඹෙන සමයේ, මේ පුරාණෝක්තීන්ද ස්මෘතියෙන් ඈත් වී ගොස් හමාරය."
—The Eye of the World
 
*****************
 
The Wheel of Time පිළිබඳ ඔබගේ දැනුම සහෝදර පාඨක පිරිස සමඟ බෙදා-හදා ගැනීමට අපි නිර්මාණයකරන ලද වේදිකාවට ගොඩවෙන ලෙස The Wheel of Time පාඨක ඔබට ආරාධනා කර සිටිමු. The Wheel of Time : Official Sri Lankan Fan Group 👉 https://www.facebook.com/groups/thewheeloftimesl
 
🛑 ශ්‍රී ලංකාව තුළ සිංහලයට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කිරීමේ නීත්‍යානුකූල අවසරය මියුසස් පබ්ලිෂිං හවුස් පුද්. සමාගම සතුය.
(ඡායාරූපය - අන්තර්ජාලයෙනි.)
 
#TWOT #TheWheelofTime
#MusesBooks