‘දැනුම‘ සහ ‘අවබෝධය‘ යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත් වෙනස් ම තත්වයන් දෙකකි. ‘දැනුම‘ ලබා ගත හැකිය – ලබා දිය හැකිය. ‘අවබෝධය‘ අත්කර ගත යුතුය – අත්කර දිය නොහැකිය. ‘අවබෝධය‘ උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ ‘අත්දැකීම්‘ ය. අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට – මනුෂ්‍ය සම්බන්ධතා හොදින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධයයි. ‘තේරුම් ගැනීම‘ – දරා ගැනීම සහ සංවේදීවීම අඹු-සැමි සම්බන්ධතා උදෙසා වැදගත්ය.
‘අර දෙදෙනා සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා‘ යැයි එකට ජීවත් වන සැමියකු හෝ බිරිඳක පැවසීම තුළ තමන්ගේ ජීවිතයට අදාළ යථාර්තයක් ගැබ්ව තිබේ. පියවි ඇසට අන්‍යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් – ජීවිතය පෙනෙන්නේ නැත.
‘මිනිසුන් හට සොඳුරු ගුණ හා නුගුණ ඇත. නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත‘.
මේ කෘතිය මේ චින්තාවේ පිහිටා අඹු සැමියන්ගේ ‘ජීවිතාවබෝධය‘ වෙනුවෙන් ලියන ලද්දකි.