මිනිස්සු රැවටෙති. නැවත නැවත ද රවටනු ලබති. මේ රැවටිල්ලේ කෙළවර හෝ සීමාවන් නොදැන සියල්ල සැබෑව යයි තමන් මත පටවනු ලබන මිථ්‍යාවන් ද අදහති. ස්වකිය පරිසරයට අනුගත වෙමින් සැනැසිල්ලේ ජිවත්විය හැකිව තිබියදී බොහෝ විට වංචාව හේතුවෙන් ම තමන් පමණක් නොව ස්වකීයයන් සමඟ ලොවම විනාශය කරා ගෙන යන රසායනික විනාශයට ද දායක වනු පෙනෙයි. ඒ වැරැදි නිවැරැදි කරගන්නට සිතන්නේ තමන් සමඟ සියල්ල කෙළවර කරා ඇදුණු ඉක්බිතිවය.
එහෙයින් කිසිවක් වෙනස් කර ගන්නට ඔවුනට අවකාශයක් නැත. තමන් කරා එළැඹෙන මරණය ද සමඟ සියල්ල ගිල ගනිමින් විනාශ වන පරිසරයට වගකිව යුතු ද තමන්ම බව අවසානයේ දී හෝ අවබෝධ කරගන්නේ ද නැත. මේ ශෝචනීය අවසානයේදී ද රැවටීමේ ඉමම, රැඳෙන ඔහු ගොනා හෙවත් මුග්ධයා ලෙස හැඳින්වෙන්නට ඇත්තේ එහෙයින්ම විය යුතුය.