පැදුරක් එළා එහි කෙළවර කඩතුරාවකින් වැසූ ආතුරයා වාඩි කරවා සිටින්නේ ය. බෙහෙවින් ම ආතුර වූ රෝගියා පැදුරේ කෙළින් වාඩි වී ඉන්නටත් බැරි තරමට ඇල ගැහී හිඳ සිටින්නේය. ඔහුගෙන් නිකුත් වුණු උණ රස්නය අවට පළාතක් පුරා දැනෙන්නට වුයේ ය. ඒ හන්දා ම ඔහු අල්ලාගෙන සිටි එමලිනා ද අඩියක් පස්සට ගන්නවා පෙනී ගියේ ය. පැත්තක සුදු රෙදි යාරයක්, සුදු කැකුළු සහල් සේරු බාගයක්, පොල් ගෙඩියක්, කලස් දෙකක්, බුලත් කොළ මිටියක්, පඬුරක් ද තිබෙන්නේය.
ඒ සියල්ල පෙනෙන නොපෙනෙන දුරක දිවි හිසක් ද, හී රැස්ස පුරුක් තුනක් ද, තොලබෝ කොළයක් ද වෙයි. යක්කම ආරම්භයේ නිශ්චලව පියැවුණු දිවි හිස යන්තමෙන් දෑස් විවර කරන බවක් ද, ඒ මේ අත හරවා බලන බවක් ද පෙනෙන්නේය. අනතුරුව හීරැස්ස පුරුක්වලින් දලු මතුවන්නට වෙයි. තොලබෝ කොළය මඳ සුළං පහරක් හෝ නොලබා පැදුර මත නැළැවෙන්නට වන්නේය.