ඇය තනිකරම මරණයේ දියණියමයි. ඇය හිටියේ නිරුවතින්. ඇගේ කෙස් කළඹ බිම ගෑවෙන තරම් දිගටත් තිබුණා. ඇය එවෙලෙ හිටියේ අත් හතරෙන් දෙකක් ඉණට තියාගෙන, අනෙක් දෙක මිට මොළවාගෙන. මට පෙනෙන්න තිබුණු ඇගේ මුහුණ හරිම සුන්දරයි. නමුත් රෞද්‍ර බව උතුරා යනවා. එතකොටම ඇය සීමාව පනින්න උත්සාහ කරමින් පැත්තකට හැරෙද්දී මම දැක්කා ඇගේ පිටුපස....
දෙවියනේ.... මහ දෙවියනේ....
ඇයට හිස පිටුපසත් මුහුණක් තිබුණා. ඒ මුහුණ විස්තර කරන්න මට වචන නැහැ. මුළු ලෝකයේම තියෙන භයානක දේවල් හා රෞද්‍ර බව එක තැනකට කැටි කරන්න පුළුවන් නම්, එහෙනම් ඒ තමයි ඇගේ පිටුපස මුහුණ. ඒ මූණ තමයි වරින්වර විලාප දුන්නේ. ඒක මහ යක්ෂ විලාපයක් හරිස් චන්ද්‍ර... මට අදත් ඇගේ විලාපය සිහිවෙනවා.