ලංකාවේ උපත ලැබූ එක මෙක ලන්දේසි ආණ්ඩුකාරවරයකු ගැන ඉතිහාසයේ සඳහන් වෙයි. විලියම් පැල්ක් නම් වූ ඔහු ඕලන්ද වෙළෙඳ සමාගමේ නිලධාරියකුට සහ ආසියාතික මවකට දාව උපත ලබා ඇත්තේ ලංකාවේය. එසේ මෙම දේශයේ උපන් පැල්ක් පසු කලෙක මෙරට ලන්දේසි ආණ්ඩුකාර ධුරය ඉසිලුවේය. ඒ 1765-1785 අතර දශක දෙකක කාලයකි. විලියම් පැල්ක අපට මෙහිදී වැදගත් වන්නේ ඇයි...? ලන්දේසි බසින් මෙහි මුල් කෘතිය ලියූ ජේ. හාග්නර් යාපා පටුනේ සිට කොළඹට පා ගමනින් පැමිණ ඇත්තේ එකී දශක දෙක ඇතුළත යම් වකවානුවක නිසාය. ඒ අනුව මෙහි විස්තර වන්නේ 1765-1785 අතර කාලයේ ලංකාවේ තත්තවය පිළිබඳය යන්න අපට උපකල්පනය කළ හැකිය.
මෙම සිංහල පරිවර්තනය සඳහා අප ගුරුකොට ගත්තේ ලන්දේසි බසින් ලියැවුණු මුල් කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනයයි. 1821 & Travels on Foot Through the Island of Ceylon නමින් එම පරිවර්තන කෘතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ ලන්ඩනයේ ශ්‍රීමත් රිචඩ් ෆිලිප් සමාගමයි. අවාසනාවකට මෙන් එම කෘතියේ කිසිම තැනක ඉංග්‍රීසි පරිවර්තකයාගේ නම සඳහන් වන්නේ නැත. සඳහන් වන්නේ ජේ. හාෆ්නර්ගේ නම පමණි. සමහර විට තමන් ලන්දේසි බසින් ලියූ මුල් කෘතිය යළි ඉංග්‍රීසි බසට පරිවර්තනය කළේ ද හාෆ්නර්ම විය හැකිය.