ඉක්මන් අඩි තබමින් තමා ඉදිරියට එන ස්ත්‍රී රුව දුටු මඳ කිපුණු ඇතාගේ නෙත්වල කනීනිකා සිදුරු විසල් වී ගියේය. ඌ හොඬ ඔසොවා මහ හඬින් කෑගැසුවේය. එහෙත් ස්ත්‍රී රුවේ පසුබෑමක් නම් නොවීය. එහෙයින්ම ඇතා නොමඳ කලබලයට පත් විය. ඌ නැවතත් අනතුරු ඇඟවීමක් ලෙසටදෝ, ඉදිරි පය දෙක ඔසොවා පොළොව දෙදරන සේ බිම ඇන හොඬ ඔසොවා කෑගැසුවේය. එහෙත් හුළුඅත්ත අතින් ගත් ගැහැණියගේ ගමන නම් බාල නොවීය. ඇතා එවර විපිළිසරව ගිය ගතියකි. එවර ඌ පිට කළ හඬ යම් අපහසුතාවයකට පත් ගතියක් පෙන්නුවේය. නොබා ඉදිරියට ගිය ගැහැනිය, දකුණතෙහි වූ හ ුළුඅත්තෙන් තමාට වඩා දෙගුණයකටත් වඩා උසැති මහඇතාගේ පපුතලයට පහර දුන්නාය!
පසුබිමෙන්, බිමට සමතළා වූ මහා පව්වක් සේ දණ බිම ඔබා හොඬෙන් සන්සුන් සහ අදරැති ‘ගොර ගොර’ හඬක් නඟන මද ගලන ඇතාය. හාත්පස, ගිනිගත් කනමැදිරියන් සේ කැරැකෙමින් නළියමින් දිලියෙමින් සුළඟට හසුව රඟන කිණිහිරියා මල් බඳු හුළු දඹු ගොන්නය. ඒ සියල්ලට ඉදිරියෙන්, ඒවා පසුබිම් කරගෙන මඳ සුළඟේ ලෙළෙන නෙරි පොටද සහිතව දණට හැඳි චීත්තයන් තද රතු පෑ හැට්ටයත් හැඳ පිටුපසට කර බැඳි කොණ්ඩ ගෙඩිය සහිත රළු පෙනුමැති කෙසඟ ගැහැණියය.
සිරිසේන වෙදනා වෙවුලමින් දණින් වැටුණේය.
“දෙයියෝ බුදුවන්ඩ. ද...දංගහවැවේ කිරිඅම්මා!”