ගස මුදුනට නැග බැලීමට අපි ඉවසුම් රහිත වූයෙමු. එළිය වැටෙන තුරු අප සිටියේ මහ මුහුදේ මංමුළා වූ නැවියන් ගොඩ දැක්මට ආශාවෙන් සිටින්නාක් මෙනි. අරුණු රැස් වනයට වැද ගත් විගස මම තිලක් සමඟ ගස මුදුනට නැග්ගෙමි. අජිත්, හුන් තැනම සිටියේය. වනය පැහැදිලිව දැක ගන්නට තවම එළිය ප්‍රමාණවත් නො විය.
එහෙත් අපට ඉතා දැකුම්කලු දර්ශනයක් දැක්ක හැකි විය. ඒ හිරු උදා වන දර්ශනය යි. මුලින් තද රතු පැහැයක් ගත් අහස කෙමෙන් තඹ පැහැයට හැරිණ. ඉක්බිති ව ලොවට වැදගත් රන්වන් හිරු රැස් අඳුර විනිවිද ගොස් දසත පැතිරෙන්නට විය. හිරු පිළිගන්නට මෙන් අහස විසිතුරු වලා පටල වලින් හෙබවී සිටියේය. කුරුල්ලන්ගේ නාදය හිරුට සෙත් පැතීමට ගැයුණු හීයක් මෙන් විය.