එදින රාත්‍රියේ දී සාදිට නින්ද ගියේ නැත. ඔර්ලෝසුවේ රාත්‍රී දහයයි හතලිස් පහ වදින තෙක් බලා සිටි ඈ සෙමෙන් සෙමෙන් ඇදෙන් නැගිට්ටා ය. වට පිටාවේ තිබෙන්නේ මඳ අදුරකි, නිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නින්දේය. ඉක්මන් කොට ගවුමක් හැඳගත් සාදි හෙමින් හෙමින් පඩිපෙළ බැස්සාය. තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගෙන පාසලේ ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය. තමාට පිටුපසින් අඳුරු ඡායාවක් ද පැමිණෙන බව සාදි දුටුවේ නැත. ඒ පෲවන්ස් ය. පෲවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝටා පසුපස බවයි. ඒ ඇවිද යන්නේ සාදි බව ඈ නිකමටවත් සිතුවේ නැත.
රාත්‍රී දහයයි කාල වන විට පෲවන්ස් නින්දෙන් පිබිදුණා ය. කාටත් හොරා නිදන ශාලාවෙන් පිට වූ ඈ සාදි පැමිණෙන තෙක් නොඉවසිලිමත් ව බලා සිටියා ය. දැන් වේලාව රාත්‍රී එකොළහයි කාලට පමණ ඇත. උගුරේ කිසියම් වේදනාවක් නිසා ඇලිසන් එක්වරම නින්දෙන් පිහිදුණා ය. හයියෙන් කහින්නට අවශ්‍ය වුව ද එය නොකළ යුත්තකි. එමෙන් ම කැස්සට ගන්නා ලොසින්ජර සාදි ළඟ තිබේ. ඇලිසන්, සාදිගේ ඇඳ අසලට ගියේ ඒ ලොසින්ජරයක් ඉල්ලා ගැනීම සඳහා ය. කළුවරේ ම ඇඳට අත පෙවූ ඇලිසන් කදි සොයන්නට උත්සාහ කළා ය. පුදුමයකි. සාදි නැත. ඇඳ හිස්ය. ඇඳුම් හැඳගෙන ඈ පිටව ගොසිනි. ඇලිසන් දරාගත නොහැකි පුදුමයෙන් ඇඳ මත වාඩි වූවාය.