අවසානයේදී රාත්‍රි නින්දට යා යුතු හෝරාව එළැඹ ඇති බව හඟවන සීනුව නාද විය. සිසුවියෝ හනි හනික උඩු මහලේ පිහිටා තිබෙන නිදන ශාලාව කරා දුව ගියේ පුදුමාකාර සතුටකිනි. ඒ අතර ජැනට් දෙවැනි වසරේ සිසු නායිකාව වූ ග්‍රේස්ට මෙසේ කීවාය.
ග්‍රේස්... අමතක නොකර ඔර්ලෝසුවේ එලාම් එක හරියට තියාගන්න. මොකද ඔයාලට නින්ද යන්න පුළුවන්. අපේ සාදය වෙලාවේ ඔයාලට නින්ද ගියොත් නම් ඒක පුදුමාකාර අවාසනාවක් තමයි.''
" ඒක නම් කොහොමටවත් වෙන්නේ නැහැ ජැනට්. අපි ඔයාලගේ සාදයට කොහොමහරි එනවා. හරි.. දැන් හැමෝම නිදාගන්න ලෑස්ති වෙමු. අපිට ටික වෙලාවක් නිදා ගන්න වෙලාව තියෙනවා.''
සාදයට සහභාගි වන පංති දෙකේ සිසුවියන් නින්දෙන් පිබිදවීමේ වගකීම ජැනට් සහ ග්‍රේස් විසින් භාර ගත්හ. නමුත් මේ වනවිට කිටී නම් නිදන ශාලාවේ සිටියේ නැත. ඇය කල් ඇතිවම සූදානම්ව නිදි වර්ජිතව සිටින්නේ සැමටම කලින් නිදන ශාලාවෙන් පිටව යන්නටයි. ඇය මේ මාන බලන්නේ තමන්ගේ හොර ඇල්ලීම සඳහා ඉව අල්ලමින් සිටින මාග්‍රට්ව කෙසේ හෝ කොටු කරගන්නටයි. යම් හෙයකින් ඇය මඟ හැරුණහොත් තමාගේ සැලැස්ම සම්පුර්ණයෙන්ම අපතේ යන බවද ඇය දනියි.