ඩග්ලස් ගඟට බැස්සේ වැලි කූඩ දෙකක් ගොඩදාගන්නය. බකිනිලන්ද තොටුපළට මෙහායින් ගං දියේ කිමිදී වැලි කූඩය පුරවමින් උන් ඩග්ලස් එකවරම තිගැස්සිණ. ඔහුට තරමක් නුදුරින් සුදුපාට ඡායාවක් දියයටය. පේන හැටියට කවුරුන් හෝ දියයට හැංගී තමා දිහා බලා ඉන්නවා වගේය.
“මොකාද බොල මා එක්ක හැංගිමුත්තන් කරන්නේ..”
වැලි එකතු කිරීම පසෙක තබා ඩග්ලස් ඡායාව දෙසට පිහිනා ගියේ කුතුහලයෙනි. ටික ටික එයට කිට්ටු වෙද්දී දිය රැළිති සමඟ දඟදාන දිගු කොණ්ඩයත් මල් ගවුමත් නිසා මේ ගැහැනියක බව ඔහුට තේරිණ.
“දෙයියන්ටම පෙනියං...”
තවත් ටිකක් කිට්ටු වෙද්දී වතුරට තැම්බී සුදුපාට ගැහුණු අතපයවල වෙනස ඩග්ලස් දුටුවේය. මේ පණ ඇති ගැහැනියක නොවන බව දැන් ඔහුට විශ්වාසය.
“කවුරු හරි වතුරෙ ගිලිලා මැරිලා..."