වර්ෂ 1972.....
අනෝරාව පටන් ගත්තේ මහ රැයේය. හැන්දෑකරේ තිබූ වැහිබීරිමේ හැටියට වහින්නට පුළුවනිය හිතුණත් මැදියමේ අනෝරාවක් එතැයි ගම්මු හිතන්නට නැත. ගල්කැට වාගේ වැහි බිඳු එක දෙක ‘ටක ටොක’ ගාගෙන පොල් අතු වහලයට වැටෙද්දී ඇතුල් කාමරේ ලණු ඇඳේ උන් ගැහැනිය ඇහැරියාය. කැට කැට වැටුණු වැහිදිය වක්කඩ ඇරියාක් සේ වන්නට ඇහිපිය ගහන වේලාවක් ගියේ නැත. සිහින් කෙඳිරියක් නගාගෙන ඇඳේ හිඳගත් ගැහැනිය දෙපය ගොම මැටි ගෑ පොළොව මත තැබුවාය.
“අම්මේහ්.. අම්මේහ්.. මේ හිරිය එක්කලනේ මුකුත්ම කරගන්න බැරි..”