ධාරා වහා කීකරු වූවාය. රියදුරා ළඟ වටිනා කියන කිසිවක් නොවිණි. ගෝවින්දාගේ කරේ මාලයත් අතේ දියමන්තියක් ඇල්ලූ වටිනා මුද්දකුත් තිබිණි. වැඩිම රන්බර තිබුණේ ධාරා ළඟය. සාම්ප්‍රදායික හින්දු පවුලක උපන ධාරා මංජේශ්වරිට රනින් හිඟයක් නොවිණ. ලංකාවට ගොඩ බහින විටත් ඇගේ කන්වල ලොකු කූඩු කරාබු දෙකක්, ගෙලේ දැමූ උස්ව නැගුණ පපුවෙන් පහළට එල්ලුණ පවුම් දෙක හමාරේ මාලයක් තිබිණි. ඊට අමතරව දෑතේම රන් වළලු තුන බැගිනි. ධාරා කිසිදු ලෝබකමක් නැතුව මේ සියල්ල ගලවා දුන්නාය. තමාට අණ කරන මේ දාමරියකයන් තිදෙනාම මෙල්ල කළ හැකි බලය තමා සතු බව ධාරා දැන උන්නාය. ඒත් ඇයට උවමනා කළේ ගණුදෙනුව ගොඩින් බේරා ගන්නය. තමා උගත් පුරුදු පුහුණු කළ ශිල්ප ශාස්ත්‍ර කිසිවක් බරපතල උවමනාවක් නැතිව ප්‍රදර්ශනය කරන්නට ඈ අකමැති වූවාය. ධාරා ගලවා දුන් රන් අබරණ දෝතින් බාර ගන්නා අතරේ ඒ කොල්ලකරුවාගේ නෙත ඇදී ගියේ දණ ගසා උන් ධාරාගේ ඔඩොක්කුවේ තිබූ ඇගේ අත් බෑගය දෙසටය.