දර්ශනී එදින උදෑසන නිවසේ ඉස්තෝප්පුවට පැමිණ වටපිට බැලුවේ උත්සවය සඳහා ගෙන යෑමට මල් ටිකක් කඩා ගැනීමටය. එහෙත් මිදුලේ තිබූ මල් පාත්ති වලට පෙර ඇගේ නෙත ගැටුණේ මිදුලේ ඇති අඹ ගස වෙතය. මීට වසර කිහිපයකට පෙර මෙම අඹ ගස යට ලී කොට කැබැල්ලක් උඩ හිඳ තමා විසින් පිහිටු වූ අඹයහළුවෝ ළමා සමාජයට මොන තරම් උදාර ගමනක් යෑමට හැකි වූවා දැයි සිතෙන විට ඇගේ හදවතට දැනුණේ නිම කළ නොහැකි සතුටකි.
ඒ සතුටින් පිරිගිය දෙනෙත් වලට යොමු වූයේ තවත් අඹවාරයක් සඳහා අඹ ගස මලින් බරවී ඇති ආකාරයයි. මුළු අඹ ගසම මලින් බර වී ඇත්තේ ඉතා සරු අඹ අස්වැන්නක් මේ වාරයේ දී ලැබෙන බවට පෙරනිමිති පහළ කරමිනි. අඹ ගස යටට ගිය දර්ශනී ඉතා සීරුවෙන් අඹ අත්තක් පහත් කර අඹ මල් පොකුරු කිහිපයක් කඩා ගත්තාය. එසේ කඩාගත් මල් පොකුරු කිහිපය සුදු රෙදි කඩක් ඇතිරූ බන්දේසියක තැන්පත් කළ ඇය උත්සව භුමියට යන විට එම මල් බන්දේසිය ද රැගෙන ගියාය.
උත්සව භූමියට පැමිණි දර්ශනී අවට පරිසරය දෙසට නෙත් යොමු කළාය. එතැන සිටි සෑම කෙනෙකුගේම වාගේ මුහුණු පිරි ඇත්තේ සතුට සහ බලාපොරොත්තු වලිනි. එමෙන්ම අපිත් මොනතරම් වටිනා වැඩක් කළා ද යන අභිමානයක් ද එම මුහුණු වල ගැබ් වී තිබිණි. උත්සව භුමියේ සිටි කොයි කවුරුත් වාගේ දර්ශනී දෙස ඉමහත් ළෙන්ගතුව බැලූහ. සිනාසුනහ. කතා කළහ. දර්ශනි ද ඒ සෑම කෙනෙකුම සමඟම වාගේ සිනාසුණාය කතා කළාය. සුහදතාවය හුවමාරු කරගත්තාය.