(පිච්චමල 4)
පද්මාවතී ළිප ළඟ බංකු පොඩ්ඩි හිඳගෙන තේමිය කුමාරයා සිහිපත් කළා ය. පැවිදිව හුදෙකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්ට පිය රජතුමා දිනක් ගියේ ය. ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහර කොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකට පත්ව ඇතැ යි කියා ය. එහෙත් බොහෝ පැහැපත්ව ප්‍රබෝධමත්ව ඔහු එහි පසුවනු දුටු රජතුමා මවිතයට පත්ව, මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැයි, ප්‍රශ්න කෙළේ ය. "අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි. කඩු ගත්තා වූ රාජාරක්ෂකයෝ මා වටා නැත්තෝ ය. අතීතය ගැන සිතා ශෝක නොකරමි. අනාගත ප්‍රාර්ථනා ද නැත. වර්තමානයෙන් යැපෙමි. මේ නිසා පිය රජතුමනි මට මැනැවින් නිදි ලැබේ. ශරීර වර්ණය පැහැපත් වේ. සෝ තැවුලක් නැත." තරුණ තේමිය තවුසා පිළිතුරු දුන්නේය.