(පිච්චමල 7)
" මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ."
'' ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පා කරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුම දන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ."
"මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද? '' '' මේකිට මා අතින් මොනව වෙයිද දන්නෙ නෑ.''
මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. " අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ ! මට කවුරුවත් නෑ. මාව මරාවි, මේ පන්සලේ මාව තියා ගන්න. හාමුදුරුවනේ.''