“ඉහළ ගස් අතු මලින් බර ව පහළට කඩා හැලේ. රොනට ඇදෙන මී මැසි, බඹර සේනා ද නන් පැහැ ගත් සමනලුන් ද ඒ වටා සරති. ඒ නම් එක ම රස ගුලාවකි. කුමරු තම සිහින් වූ වස්දඬුව ගෙන පහත් ස්වරයෙන් ඒ හඬවන්නට විය. හෝපලු ගස් දෙකක් අතර වූ දෙබලක් මත හිඳ තමා කොතෙක් වේලා වස්දඬුව වැයුවාදැයි ඔහුට මතකයක් නැත. ඒත් මල් ගුලාව අඳුරු පැහැයෙන් යුත් සළු අඳින්නේ රාත්‍රිය උදා වන බව දැනී හනික ගස් දෙබලින් මෑත් විය.
ඒ අතර එක් හෝපලු ගසක් මැද හුලස්සේ හුන් රුක් දේවතාවියක් කුමරුගේ නෙත ගැටුණි. ඔහුගේ දෑසේ කළු ඉංගිරියා පළල් විය. දෙව්ලිය සෙමෙන් ගසින් පහළට බසී. ඈ යටිකයට ඇඳුම් ඇඳ සිටි අතර උඩුකය නිරාවරණය වී තිබිණ. කළින් දින මහ වීදිය මධ්‍යයේ දුටු දර්ශනය මේ හා සමාන බව කුමරුට සිහි නැඟුණි. දෙව්ලියක මුත් ඈ බියෙන් ත්‍රස්ත ව වෙවුලන්නට වී, නෙළා ගත් හෝපලු කුසුම් මිටින් බිමට හළමින් වරදට දඬුවම් පතනා වරදකාරියක් මෙන් බිමට යොමු කළ දෑසින් යුතුව කුමරු ඉදිරියේ අසරණ ව සිටියා ය.”