එදා අතැඟිලි බැඳුණු දවසේ එයාගෙ නමටම පේ කරන්න හිටපු හැමදේම වෛරයක සුළි සුළඟට හසු වෙලා සීසීකඩ විසිරිලා ගියත් අද ඒ වෛරයෙ සුළංවලට මම නිරාවරණය වුණේ කැමැත්තෙන්ම සන්තකේටම අතින් අත්හැරෙන්න ඉඩ දෙමින්. අද හැමදේම එයා අතින් අහිමි වෙන එකත් මට දැනුණෙ ලොකුම සැනසීම ගාණට. සළු මිදිලා ගියේ මුළු ගතම රිදවමින්. පාලනය කරගන්න බැරි ඉසව්වක අර්ථ රැඳුණ බව වැටහෙද්දි ඒවාගෙන් දුරස් වෙන එක පසෙකට දැම්ම මම සන්සුන් වුණේ ඒ ස්පර්ශයන් හදවත අඩියම හාරාගෙන යන නිසා. එයාට වෛරයක් විතරක්ම වුණාට අර්ථ කියන්නෙ මගෙ ආදරය. මමම මගෙ අතින් වළලලා දැම්මත් හදවත පුද දුන්න එකම පිරිමි ආත්මය. මගේ සැමියා කියන එක හදවතින්ම පිළිගත්ත නිසාම මම හිටියෙ රිදුම් දෙන සංවේදනා අසල පවා සැනසීම ගොඩනගමින්.